සිංහල රුවැන්වැලි පාලියෙන් දක්වා ඇත්තේ හේමමාලික හා සුවණ්ණමාලික යනුවෙනි. මේ විශේෂණ දෙකේම ඇත්තේ එක තේරුමකි. සුවණ්ණ හෝ හේම යනු රන් (රත්‍රං) සදහා ද මාලික යනු මල් හෝ මල් දම් සඳහා ද යෙදේ. රුවන්වැලි යනු මැණික් වැලි යන තේරුම දෙන්නකි. එහි පාලි පරිවර්තනය විය යුත්තේ රතනවාලුක යන්නයි. සෑය යන්න චේතිය යන්න වෙනුවට සිංහලෙන් යෙදෙන්නකි. හේමමාලික චේතිය හෝ සුවණ්ණමාලික චේතිය යන පාලි ව්‍යවහාර සමග සසඳන විට රුවැන්වැලි සෑය යන්න අර්ථ වශයෙන් ගැළපිය නොහැකිය. එය වැරදි ව්‍යවහාරයක් බවයි ව්‍යාකරණය අනුව කිව යුත්තේ. එය වැරදි වුවත් දිගු කලක් භාවිතයෙන් මුල් බැසගත් ව්‍යවහාරයක් වි තිබේ.
රුවැන්වැලි සෑය බෞද්ධයින්ගේ වටවන්දනාවට අයත් ස්ථාන දහසයෙන් එකකි. ඊට අයත් අනෙක් ස්ථාන මහියංගණය, නාගදීපය, කැළණිය, පාදලාංඡණය (සිරිපාදේ), දිවාගුහාව, දිඝවාපිය, මුතියංගණය, තිස්සමහා විහාරය, ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, සුවණ්ණමාලී මහා චේතිය, ථුපාරාමය, අභයගිරිය, ජේතවනය, සේලචේතිය, කතරගම යනුවෙන් හැදින්වෙයි. මහාවංසය අසාමාන්‍ය තැනක් රුවැන්වැලි සෑයට දී තිබේ. ශ්‍රී ලංකාවේ ස්තුප අතරෙන් එය ඉතාමත්ම වැදගත් සේ සළකන ලද බව එයින් සනාථ වේ. එය එතරම්ම වැදගත් ලෙස සළකනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ තිබුණ විශාල ම ස්තුපය නිසා පමණක් නොවේ. වැඩි ප්‍රමාණයක් සර්වඥ ධාතුන් එහි නිදන් කර තිබීම වැදගත්ම හේතුව වන්නට ඇත. අන්තර්ජාතික බෞද්ධ සහභාගීත්වයක් ඇතිව තනන ලද ස්තුපයක් වීම ද එහි සුවිශේෂත්වයට තවත් හේතුවකි.
පසු කාලවල ඊට වඩා විශාල ස්තුප තනන ලද නමුත් රුවැන්වැලි සෑයට තිබුණු සැලකිල්ල තවමත් හීන වී නැත. ඒ අතින් එය ශ්‍රී ලංකාවේ වැදගත්ම බෞද්ධ ස්මාරකයයි. සිංහලයින්ගේ ප්‍රථම ජාතික වීරයා වු දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ස්තුපයක් වීම නිසා ජාතික වශයෙනුත් එහි වැදගත්කමක් තිබේ. ඒ සියල්ලටත් වඩා රුවැන්වැලි සෑය පිහිටා ඇත්තේ මෙම බද්‍ර කල්පයෙහි පහළ වු කකුසඳ, කෝණාගමන, කස්සප සහ ගෞතම යන බුදුවරු හතර නමගේ ම පාදස්පර්ශය ලැබු පුජනීය බිමක වීම වැදගත් වන්නට ඇත. මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජුට මෙම ස්ථානය හඳුන්වා දී එහි මල් මිටක් පුජා කොට අනාගතයේ දි රජුගේ මුනුබුරකු විසින් එහි ස්තුපයක් තනන බව ප්‍රකාශ කළේය. රජතුමා එහි ගල් ටැඹක් පිහිටුවීය. යුද්ධය අවසන් කොටු බුදු සසුනේ දියුණුව සඳහා වැඩ ආරම්භ කළ දුටුගැමුණු රජතුමා මිරිසවැටි ස්තුපයත් ලෝවාමහා ප්‍රසාදයක් තනා අවසන් කළේය. එය ශ්‍රී ලංකාවේ පළමු වරට තනන ලද නව මහල් පහය විය. ඒ කාලයේ විශ්මයජනක නිර්මාණයක් වුවාට සැකයක් නැත.
ගොඩනැගිලි තැනිම අතින් රජුට තිබුණු අවබෝධයත් දක්ෂ ශිල්පින් සිටිමත් නිසා එවැනි ගොඩනැගිලි තැනිමට හැකි විය. රජතුමා එකල පැවැති ජනප්‍රවාදයක් අනුව රුවැන්වැලි සෑ බිම බැලීමට ගොස් එහි දේවානම්පියතිස්ස රජු විසින් සිටුවා තිබුණ කුළුණ ඉවත් කොට එහි ස්තුපය (මහාථුපය) තැනීමට ඉටා ගත්තේය. රජු මුලින්ම කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය එකතුකිරීමයි. මේ පිළිබඳව ආශ්චර්ය අද්භුතජනක විස්තරයක් මහාවංසයේ එයි. ගොඩනැගිලි ද්‍රව්‍ය රැස්කරගත් පසු වෙසක් මස පුර පක්ෂයෙහි පහළොස්වෙනිදා විසාඛා නැකතින් මහාථුපය තැනීම ආරම්භ කරන ලදී. මුලින්ම සිදු වූයේ අත්තිවාරම කැණිමයි. එය රියන් හතක් (අඩි 14 ක්) ගැඹුර විය. එහි පතුලේ ගල් කුඩු අතුරන ලදි. සමින් ආවරණය කරන ලද පා ඇති ඇතුන් ලවා පාගවා එම ගල් කුඩු තට්ටුව තද කරන ලදී. රජු ඒ මත බදාම අතුරා ගඩොල් ස්ථරයක් කරවීය. අනතුරුව කරසුධා නම් වූ බදාම විශේෂය අතුරා ඒ මත මරුම්බ අතුරන ලදි, ඒ මත නවනීල මැටි බදාම යොදා පලිඟු ගල් තට්ටුවක් දමා යලිත් නවනීල මැටි බදාම අතුරා ඊළඟට තලතෙල් සමග මිශ්‍ර කරන ලද මනෝසීල ආලේප කරන ලද අඟල් අටක් ඝන ලෝහ තහඩුවක් එලා අත්තිවාරම නිම කරන ලදී. මහාවංසයේ මේ වැඩ කොටස් හඳුන්වා තිබෙන්නේ පිරිකම්ම යනුවෙනි. රජු පසු දින එනම් වෙසක් මස පුර පක්ෂයෙහි දහහතරවෙනි දින මහා ථුපයට මඟුල් ගල් තබන බැවින් ඒ අවස්ථාවට වඩින ලෙස මහා සංඝයාට ආරාධනා කළේය. බුද්ධ පුජාවක් පවත්වන ආකාරයට සිල්වත් මහජනයා පුජා භාණ්ඩ රැගෙන පැමිණිය යුතු බව ඔහු දැන්වීය. විසාඛා සහ සිරිදේව යන අමාත්‍යවරු රජුගේ නියෝගය පරිදි ස්තුපය තනන තැන අවට වැලි ඇතිරවිම ආදියෙන් සැරසුහ. රජු උදෑසන නගරයේ සතර දොරටුවෙහි රුවුල් කපන්නන් හා නාවන්නවුන් යෙදවීය. එමෙන්ම වස්ත්‍ර හා මල්දම් ආදිය ද තනා තිබුණි. නගර වැසියෝද ජනපදවාසීහු ද ස්තුපය කරවන ස්ථානයට පැමිණියහ. විවිධ අමාත්‍යාංශවල ඇමතිවරු ඔවුන්ට නියමිත ඇඳුම් පැලඳුම් වලින් සැරසී රජුට ආරක්ෂාව සපයමින් සවස් කාලයේ පැමිණිය හ. ආතත, විතත, විතතාතත, සුසිර, ඝන යන පංච තුර්ය භාණ්ඩවලින් නැගෙන ඝෝෂාවෙන් පැමිණි පිරිස කුල්මත් කරවන ලදි.
මහාවංසය කියන පරිදි දුටුගැමුණු රජු මුලින් බලාපොරොත්තු වුයෙත් සැළසුම් කළෙත් මහා පරිමාණ ස්තුපයක් කිරීමටය. සිද්ධත්ත හිමි දුර දක්නා නුවණීන් මේ ගැන සළකා බලා එවැනි ස්තුපයක් තනා නිම කිරීමට පෙර රජු මියයන බව කියා මධ්‍යම ප්‍රමාණයේ ස්තුපයක් කරවන ලෙස රජුට කිවේය. රජු එය පිළිගත්තේය. මේ අනුව තනන ලද අත්තිවාරම මත මධ්‍යම ප්‍රමාණයේ දාගැබකට ප්‍රමාණවත් චෛත්‍යවර්තයක් (බිම් සැළැස්මක්) ලකුණු කරවිය. ඊළඟට ස්තුපයට මුල්ගල තැබීම සිදු කරන ලදි. නියමිත දිනට කලින් දින රජතුමා මහා සංඝයාට ඒ සඳහා ආරාධනා කෙළේය. තවද ඔහු මහජනයාට ද සුවඳ මල් ආදි පුජා ද්‍රව්‍ය රැගෙන බුද්ධ පුජාවට එන ලෙස දැන්විය. ස්තුපයට මුල්ගල තැබීම සිදු කරන ලදි. ස්තුප ස්ථානයට යන මාර්ගයත් මුළු නගරයත් විසිතුරු ලෙස සරසන ලදී. නියමිත දින ගිහි පැවිදි මහා සේනාවක් එතනට පැමිණියහ. ඉන්දියාවේ නොයෙක් පළාත්වලින් ද සංඝයා පැමිණියහ. නියමිත දින සවස් භාගයෙහි රජ ඇඳුමින් සැරසුණු රජු එසේම සර්වාකාරයෙන් සැරසුනු ඇමතිවරුන්ද සමග රඟන ගී ගයන කාන්තාවන් සහ සතළිස්දහසක් මිනිසුන්ද පංචංගික තුර්යවාදකයන් ද සමග ස්තුප ස්ථානයට පැමිණියේය. ඔහු මුලින් ම කළේ වස්ත්‍ර පුජාවකි. සංඝයා මැද රජු සඳහා හිස් ව තබා රවුමට හිට ගත්හ. රජු ශුද්ධ වු භුමියට පැමිණ සංඝයාට නමස්කාර කොට උන්වහන්සේලාට සුවඳ මල්දම් පිදීය. ස්තුප භුමිය වටා තෙවරක් ප්‍රදක්ෂිනා කොට මැද පුන්කළස් තබා තිබුණු තැන, නතර විය. කලින් ද නියම කරගෙන සිටි ඇමති කෙනෙකු ලවා රන් තුඩකින් යුත් රිදි පරිබ්මණදණ්ඩකය කරකැවීමට යොදා තමනුත් ඒ පසුපස ගියේය. මෙසේ ස්තුපය සඳහා බිම් සැළැස්ම ලකුණු කරවිය. රජු එය මැද රන්, රිදී, කලස් අට බැගින් තබා ඒවා වටේට රන් හා රිදී ගඩොල් තැබීය. ඔහු 108 ක් අළුත් මැටි කලස් එහි තැන්පත් කරවිය. ගඩොල් අටෙන් එක් එක් ගඩොලය වටා වස්ත්‍ර 108 බැගින් තැබීය. විශේෂයෙන් නම් කරනු ලැබු ඇමතිවරයෙකු ලවා දෑ සමන් මල් සමග සුවද බදාම විශේෂයක් තුල ගඩොලක් තබන ලදී. ඉතිරි ගඩොල් හතද තවත් ඇතිවරුන් හත් දෙනෙකුන් ලවා තබ්බවන ලදී. රජු නමස්කාර කොට සංඝයාට පුජා පවත්වා ඊසාන දෙසට ගොස් පියදස්සි මහතෙරුන් ලඟ නතර විය. උන්වහන්සේ ජයමංගල ගාථා කීහ. මෙසේ මහා ස්තුපයට (රුවැන්වැලි සෑයට) මුල්ගල තැබීමේ කටයුතු නිම කරන ලදි. අනතුරුව රජු උළු වඩුවන් පන්සියයක් කැදවා ඔවුන් අතුරෙන් බුද්ධිමත් හා විශේෂඥ කෙනෙකු තෝරාගත්තේය. කවර ආකෘතියකින් යුත් ස්තුපයක් තැනිමට යන්නේදැයි රජු ඔහුගෙන් ඇසිය. එවිට උළු වඩුවා අල්ලට ජලය ගෙන ජලය පුරවන ලද රන් පාත්‍රයක ජලය මතට ගැසිමෙන් දිය බුබුලක් නංවා එවැනි ස්තුපයක් යයි කීය. සෘද්ධිමත් මහ තෙරවරුන් විසින් පළමු පේසාව (මල් තැන්පත් කරන පේසාව) නිම වු පසු තෙවරක් එය ගිල්වන ලදි. දෙවෙනි හා තෙවෙනි පේසාවල් නිමකළ විට ද තුන්වර බැගින් ගිල්වන ලදි. සියල්ල එක්ව නව වාරයක් ගිල් වූ බව සඳහන් වෙයි. විශාල ගොඩනැගිල්ලක් තනන විට මාතෘ පාෂාණය දක්වා යටට අත්තිවාරම කපා ඒ මත පදනම දැමිය යුතුය. මේ ගැන ක්‍රි.පු. දෙවන ශතවර්ෂයේ සිංහලයන් දැන සිටි බව මින් අනාවරණය වෙයි. මහාවංසකරු එය ආගමික ව්‍යවහාරයට අනුව විස්තර කර තිබේ. තුන්වෙනි පේසාව මැද ධාතු ගර්භය තනන ලදි. එය ස්තුපයේ ඉතා වැදගත්ම කොටසයි. මේ සදහා සම් ද වර්ණයෙන් යුත් ගල් පුවරු හයක් යොදා ගන්නා ලදි. ගල් පුවරුවක ඝනකම අඟල් 8 කි. ඒවා ඉන්දියාවෙන් ගෙන්වන ලද බව වාර්තා වෙයි. මෙසේ පතුලේ ගල් පුවරුව එළා හතර පැත්තේ ගල් පුවරු තබා තවත් ගල් පුවරුවක් පියන ලෙස යොදා ගන්නා ලදි. ධාතු ගර්භය වටා ගඩොල් යොදා බිත්ති තනන ලදි. ධාතු ගර්භය මැද රනින් බෝධියක් කරවන ලදි. එහි ශාඛා පහකි. කඳ රිදියෙන් ද මුල් කොරල්වලින් ද, කොළ රනින් ද විය. ගෙඩි හා ලා කොළ කොරල් ගලින් නිම විය. කඳ මැණික්වලින් සරසන ලදි. කඳ අඟල් අටක විශ්කම්භයෙන් යුක්ත විය. මල්වැල්, සිව්පා පන්තිය, හංස පන්තිය, අෂ්ට මංගල හා වස්ත්‍ර යොදා බෝ කඳ සරසන ලදී. බෝධිය හතර පැත්තේ ආසන හතරක් තනවා නැගෙනහිර පැත්තේ ආසනය මත රන් හිඳි බුදු පිළිමයක් තබන ලදි. විවිධ වර්ණයෙන් යුත් මැණික්වලින් එහි අදාළ තැන් කරවා තිබුණි. බුදු පිළිමය අසළ මහා බ්‍රහ්මයා රිදි ඡත්‍රය ද ශක්‍රයා අභිෂේකදායක විජයුත්තර ශංඛය ද ගෙන සිටියහ. ඔහුගේ වීණාව රැගෙන සිටියේය. අත් සියයක් ඇති මාරයා ඇතුපිට නැගි මරසෙනග පිරිවරා ගෙන සිටියේ ය. මේ සියළු රූප රනින් කරවන ලදී. බෝධිය වටා මිටි ගරාදි වැටක් විය. බිම ද මැනවින් සකස් කරන ලදි. ධාතුගර්භය හතර පැත්තේ ධෘතරාෂ්ඨ (නැගෙනහිර), විරුඪ (දකුණු), විරූපාක්ස (බටහිර) හා වෛශ්‍රවණ (උතුර) යන සතරවරම් දෙවි රජුන්ගේ රූප විය. දෙවිවරුන් තිස්තුන් දෙනා, කුමාරුවරු තිස් දෙදෙනා, යක්ෂ නායකයන් විසි අටදෙනා වුහ. මොවුනට ඉහළින් නමස්කාර මුද්‍රාවෙන් යුක්ත ව නටන ගී කියන දෙවිවරු වූහ. ඇතැම් දෙවිවරු මල් ද රැගෙන ඉන්නා ආකාරයට කරවන ලදි. ධර්මචක්‍රය ගත් අය, කඩුගත් අය, පහන් ගත් අයද වුහ. දෙවියන්ගේ හා රහතුන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් මේ සියල්ල අවහිරයක් නැතිව ධාතු ගර්භයෙහි පිළිවෙළට විය. මේ හැර චිත්‍ර ද කරවන ලදී. බුදු සිරිත එහි තේමාව ලෙස රජු විසින් ම තෝරා ගනු ලැබිණ
nice