මිහින්තලාවේ බෞද්ධ උරුමය

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි.  අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය.  එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග ඇරඹුණේය.

mihinthalaya0142මෙය මනාව වංශ කථාවේ සුවිශේෂ සිද්ධියකි.  එම අසිරිමත් සිදුවීම හේතු කොට ගෙන ශී‍්‍ර ලංකාවේ ථෙරවාදී බුුදුදහමේත්, බෞද්ධ ශිෂ්ටාචාරයේත් කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ ය.  මේ පිළිබඳ පූර්ණ ගෞරවය දඹදිව අශෝක මහා අධිරාජයාණන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට නොමඳව හිමි වෙයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ දීපවංශය, මහාවංශය මෙන්ම සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ ද කරුණු සඳහන් වෙයි.  බුදුසසුන බබුලුවාලු මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ එදා පැළලුප් නුවර ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ අනුග‍්‍රාහයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය බලන සේක් ප‍්‍රත්‍යන්ත ජනපදයන්හි සසුන් පිහිටන බැව් දැන වප් මස් හි ඒ ඒ තෙරුන් ඒ ඒ ජනපදයට යැවූ සේක.  ඒ අනුව මහ මිහිඳු හිමියන්ය, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්‍රසාල යන ස්වකීය සද්ධිවිහාරික ස්ථවීර පස්දෙනා තෙපි ගොස් මනොඥ වූ ලක්දිවෙහි බුදු සසුන් පිහිටුවයි පිටත් කළ සේක.  වේදිස නම් වෙහෙර වැඩ හිඳ පොසොන් පුණු පොහෝ දවස් හි ස්ථවිර තෙමේ තෙරුන් සතර දෙනාය සුමන සාමනේරය, භණ්ඩුක නම් ඒ අනාගාමී කුමාරයාය යන මොවුන් හා කැටිව නෑයන් බලා නො ඇලුණු සේක් ඒ විහාරයෙන් අහසට නැගී මහා සෘද්ධී ඇතිව ක්ෂණයකින් ම මෙහි වැඩ සිත්කලු මිස්සක පර්වතයෙහි පියල් කුළ උතුම් රුචිර අඹ තලයෙහි වැඩ සිටි සේක.

එදා ලක්දිව මහා නැකැත් කෙළියකි.  මෙහි රාජ්‍ය විචාළ දෙවන පෑතිස් රජ නුවර වැසියන්ට දිය කෙළි විධාන කොට තෙමේ මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය.  රජුට තෙරණුවන් හමුවූයේ එවිට ය.

මහා රජාණනි, අපි ධර්මරාජයාණන් වූ බුදුන් සව් ශ‍්‍රමණයම්හ.  තොපට අනුකම්පා පිණිස ම දඹදිවින් මෙහි ආම්හ.  මිහිඳු මහ රහතන් වහන්සේගේ බස් අසා රජ තෙමේ පහ වූ බිය ඇතිව තම යහළු ධර්මාශෝක මහරජුගේ හසුන් මෙනෙහි කොට ශ‍්‍රමණයෝයි විනිශ්චය කරන ලද්දේය.  දෙදෙනා අතර වූ කෙටි පිළිසඳරකින් පසුව මහනුවණැති ස්ථවීර තෙමේ රජු පණ්ඩිත යයි දැන රජහට චුලහත්ථිපදොපම සූත‍්‍රය දේශනා කළ සේක.  දේශන කෙළවර ඒ රජ තෙමේ හතලිස් දහසක් පිරිස සමග තිසරණ ශීලයෙහි පිහිටියේ ය.  රජුගේ ඇරයුමින් පසුදා අනුරාධපුර අගනුවරට වැඩි ධර්ම¥තයන් වහන්සේට රාජකීය පවුලේ සෙසු සාමාජිකයන්ද මුණගැසුණි.  රජුගේ මහානාග නම් මල් යුව රජුගේ මෙහෙසිය වූ රජගෙයිම වසන අනුලා බිසව පන්සීයක් ස්තී‍්‍රන් කැටුව තෙරුවන් වෙතින් පෙතවත්ථු  විමානවත්ථු හා සච්ච සංයුක්තය අසා ප‍්‍රථම ඵලයට පැමිණියා ය.  පසුදා තෙරණුවෝ නුවර වැසියන්ට දේවදූත සූත‍්‍රය වදාරා පහන් කළහ.  උන් අතුරෙන් දහසක් ප‍්‍රාණී වූ සෝවාන් ඵලයට පැමිණියෝ ය.  නුවර මිනිස්සු මනරම් වූ නන්දන රජ උයන්හි තෙරුන් වහන්සේලාට අසුන් පැනවූහ.  එහි රැස්වූ සියලු දෙනාට බාලපණ්ඩිත නම් සූත‍්‍රාන්ත ධර්ම දේශනාව දේශනා කළ සේක.  ඉක්බිත්තෙන් ස්ථවිරයෝ එම පර්වතයටම යම්හ. යි.  නික්මුණහ.  පර්වතය දුරය.  දැන් සවස් කාලයයි.  මෙහිම රැුඳෙන මෙන් රජුගේ ආරාධනා ලැබීය.  නුවරට ආසන්න වූ බැවින් නන්දන උයන පිළිගැනීම වෙනුවට ඉතා නුදුරු නොළංතැන සිත්කලු නූ මහමෙව්නා උයනෙහි රම්‍ය වූ රාජ මන්දිරයෙහි එදින නවාතැන් ගැනීමට උන්වහන්සේ එකග වූ සේක.  නැවතී සිටි එතැන කොළොම් ඔය සමීපයෙහි කරවන ලද සෑය නිවන්තක චේතිය යැයි පසුව නම් ලැබීය.  රජතුමා මහමෙවිනා උයන මහ සඟනට පූජා කළේය.  තුන්වන දිනයෙහි නඳුන් වනයෙහි (නන්දන වන) වැඩහිඳ උන්වහන්සේ බුද්ධ ශාසනය මෙහි පිහිටුවීමට නම් උපෝසථාදී කර්මයන් සිදු කළ යුතු බැවින්, බුද්ධාඥාවෙන් සීමාවක් බැඳීම පිණිස රජුගේ අවධානය යොමු කළ සේක.  උපදෙස් පරිදි සිව්වන දිනයෙහි රජතුමා රන් නඟුලක් ගෙන එතැන් පටන් සාමින් සීමාවක් බන්ධනය කොට සමාප්ත කළේය.  හත් දිනක් ඉක්මුණු සඳ අටදහස් පන්සියයක් මනුෂ්‍යයන් මාර්ග ඵලාවබෝධ කරවා උන්වහන්සේ නඳුන් උයනෙහිම විසූ සේක.  ශාසනය බැබළවූ ස්ථානය එම හේතුවෙන් ම ජෝතිවන යයි නම් ලැබී ය.

පසුව මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ සියලු සංඝයා වහන්සේ සවිසි දිනක් මහමෙවුනා වන උයනෙහි වාසය කළ සේක.  ඉන්පසු එළඹුණු ඇසල මස අව තෙළෙස්වක දවස් හි රජ ගෙයි වළඳා මහරජ හට මහා ප‍්‍රමාද සූත‍්‍රාන්තය දේශනා කොට චේතිය පබ්බත යැයි පසුව නම් ලත් මිස්සක පර්වතයෙහි විහාරකරණයක් කැමති වෙමින් පෙර දිගින් නික්ම සෑගිරියට වැඩි සේක.  තෙරුන් එහි වැඩි බව අසා රජතුමා ද එතුමන් පසුපස ගියේ ය.  වස්වැසීම පිණිස පැමිණි බව තෙරුන්ගෙන් අසා දැනගත් රජතුමා කළයුතු දෑ අවබෝධ කර ගත්තේ ය.  රජුගේ බෑණනුවන්වූ මහාරිට්ඨ නම් මහාමාත්‍ය තෙමේ දුටු කණිටු සොහොයුරන් පනස්පස් දෙනෙකු හා මිහිඳු මාහිමියන් සමීපයෙහි එ දවස ම පැවිදි වූහ.  දේවානම්පිය තිස්ස මහරජතුමා එ දවස ම කණ්ටක නම් චෛත්‍යාස්ථානයෙහි හාත්පස අට සැට ලෙන් සෑදීම පිණිස කර්මාන්ත පටන් ගන්වා නගරයට ඇපසු පැමිණියේ ය.  ලෙන් සාදා නිමවු කල ඇසළ මස පුන් පොහෝ දවස් හි රජතුමා එහි ගොස් තෙරුන් වහන්සේලා හට විහාර දක්ෂිණාවක් දුන්නේ ය.  දෙසතියක් සීමා මාලකයන්ට එ දවස් හි ම සීමාබන්ධනය කොට මිහිඳු මහ තෙරණුවෝ පැවිදිවූ සියලු දෙනාගේම උපසම්පදාව පළමුකොට සිදු කළ සේක.  දෙසැට නමක් වූ රහතන් වහන්සේලා ඒ සෑගිරියෙහි වස් එළඹ රජහට සංග‍්‍රහ කළ සේක.

වස් පවාරණයෙන් පසු ඉල් මස පුර පසළොස්වක්දා මහ රජතුමන් ඇමතු මිහිඳු හිමිපාණන් මෙහි පූජනීය වස්තුවක් නැති පාඩුව දන්වා සිටි සේක.  ධාතූන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම් වේ යැයි පවසා මම ථූපයක් කරවන්නෙමි.  නුඹ වහන්සේලා ධාතූන් දැන වදාරන සේක්වා යි කී බැවින්, සුමන සාමණේරයන් හා සාකච්ඡ කොට ධාතු ගෙන ඒම පිණිස එම සාමණේරයන් වහන්සේ ධර්මාශෝක මහරජු සමීපයට යැවූහ.  එහි ගිය සුමන සාමණේරයන් බුදුන් ගේ අකුදාව හා බුදුන් පරිභෝජනය කරන ලද්දාවූ පාත‍්‍රයද ගෙන සෑගිරියට පෙරළා පැමිණ මිහිඳු මහ තෙරුන් වහන්සේට භාර දුන්සේක.  උන් වහන්සේ ඒ පර්වතයෙහිම සියළු ධාතූන් තැබූසේක.  එහෙයින් මිස්සක පර්වතය චේතික පබ්බත නම් විය.  පාත‍්‍රා ධාතුව සෑගිරියේ තැබූ අතර අකුධාතුව මහා නාග වනයට ගෙන ගොස් පසුව නිදන් කොට ථූපාරාමය කරවූ යේය.

අපගේ වංශ කථා අනුව ධර්ම දූත මෙහෙයෙහි මූලිකත්වය ගත්තේ අන් කිසිවකු නොව මිහිඳු මහ රහතන් වහන්සේ ම ය.  උන් වහන්සේ සමග එම ධර්ම දූත මෙහෙයෙහි යෙදුණේ උපසම්පදාව ලත් භික්ෂුණ් වහන්සේලා සිව් නමක්ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් උපාසකයාද බව ඉහත දැක්විමි.  එසේ වුව ද මහාවංශයේ වෙනත් තැනක සඳහන් වන පරිදි එම දූත ගමනෙහි යෙදී ඇත්තේ මිහිඳු මහ තෙරුන් ප‍්‍රමුඛ තෙරණුවන් පස් නමකි.  මිහින්තලාවේ ඇති සෙල් ලිපියකින් ද මේ බව තහවුරු වේ.  මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනින් සිදුවූ ප‍්‍රතිඵලය විශිෂ්ට ය.  ඒ පිිළිබඳ ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මෙසේ ය.

බුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ.  එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය.  බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය.  එබැවින් එහි බලපෑම කලාත්මක හා සාහිත්‍ය කෘතීන්හිද පිළිබිඹු විය.  සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේ ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s